නිලූක දේශීය තරග බිමට ටටා කියයි

සිය 17 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව දේශීය තරග බිමෙන් සමුගැනීමට නිලූක කරුණාරත්න තීරණය කර ඇත. ඉකුත්  (February 21, 2021) නිමාවට පත්වූ 68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියෙන් අනතුරුව නිලූක තම තීරණය ප්‍රකාශයට පත් කළේය.

2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී සහ 2016 වසරේ පැවැති රියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කියා සිටියේ තමාගේ මීලඟ ඉලක්කය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල බවය. ඉදිරියේදී ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් ලබන අප්‍රේල් මාසයේ සිට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලි රැසකට සහභාගි වීමට සූදානමින් සිටියි.

සිය ක්‍රීඩා දිවිය තුළ මේ දක්වා ලොව පුරා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි 21 කදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට නිලූක සමත්ව සිටියි. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනූ රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ද මීට ඇතුළත් වේ.

අන්තර්ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ක්‍රීඩකයන් 50 දෙනා අතර වසර එකහමාරක කාලයක් රැදී සිටි නිලූක, පළමු ක්‍රීඩකයන් 100 දෙනා අතර වසර 4 ක කාලයක් පුරා රැදී සිටියේය. එහිදී ලොව පළමු 20 දෙනා අතර සිටි ක්‍රීඩකයන් සිවුදෙනෙක් පරාජය කිරීමටද ඔහු සමත් වී ඇත.

2006 වසරේ මෙල්බර්න් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලොව 18 වැනි ස්ථානයේ පසුවූ කැනඩාවේ රොබට් මිල්රෝයි පරාජය කිරීමට නිලූක සමත් විය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවූ ජපානයේ කෙනිචිකෝ පරාජය කිරීමට නිලූක සමත් වූයේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී පැවැති මූලික වටයේ තරගයකදීය.

ඉන් අනතුරුව 2013 සහ 2014 වසරවල පැවැති ඔස්ට්‍රියන් ජාත්‍යන්තර අභියෝග බැඩ්මින්ටන් තරගාවලිවලදී පිළිවෙලින් හොං කොං ක්‍රීඩකයන් වන චැන් යැන් කට් (ලොව 13 වැනියා) සහ වේ නන් (ලොව 9 වැනියා) පරාජය කිරීමටද නිලූක සමත් විය.

news source : https://sportstoday.lk/%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%96%E0%B6%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B6%A7%E0%B6%A7%E0%B7%8F-%E0%B6%9A/

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x