ක්‍රීඩාවෙන් බැසගිය අපේ ක්‍රීඩා තාරකාවිය.

ජීවිතේ ඇතම් තීන්දු තීරණ වලට අපට එරෙහි විය නොහැකි අවස්ථා තිබෙනවා. එවැනි හේතුවක් නිසා ලංකාවට අහිමි වූ ක්‍රීඩිකාව, ඇය සමන්මලී කොටදෙණිය. 

ඔබ ක්‍රීඩාවට අවතීර්ණය කෙසේද ?
අපේ කාල වල පැවතුනේ දිස්ත්‍රික්ක මට්ටමේ තරගාවලි. එහිදී වයස අවුරුදු 11න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් මම පලමු ස්ථානය ලබා ගැනීමත් සමග තමා ක්‍රීඩාවට අවතීර්ණය වුණේ.

බොහෝ ක්‍රීඩකයින්ගේ දක්ශතාවය හදුනා ගන්නේ ඔවුන්ගේ පුහුණුකරු විසින්. පුහුණුවීම් කරලා තමා ඔවුන් ක්‍රීඩාව ප්‍රගුණ  කරන්නේ.එලෙසම තවත් ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා උපතින්ම ජාන මට්ටමින් හැකියාව පිහිටලා තියෙන අය. ඔබ මේ අතරින් කොහොම කෙනෙක් ද?

මම හිතන්නේ මට මේ හැකියාව ලැබෙන්නේ මගේ මවගෙන්. මගේ මව මලල ක්‍රිඩාව තුල නිරත නොවුනත් ඇය දක්ශ දැල්පන්දු ක්‍රීඩිකාවක්.ඇය තමා මාව ක්‍රීඩාවට  යොමු කලේ සහ මාව ක්‍රීඩා අමාත්‍යාංශයට රැගෙන ගොස් මාව දිරිගැන්වුයේ මුලින්ම අම්මා.

ඔබගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරේ කව්ද ?

මගේ මුල්ම පුහුණුකරු වුණේ යෝගානන්ද සර්.  ඔහුගෙන් පසු මගේ පුහුණුකරු ලෙස එස්.එම්. ජී බණ්ඩාර සර්.  බණ්ඩාර සර් මට විශාල සයෝගයක් ලබා දුන්නා වගේම මාව යම් තත්වෙකට ගෙනාවේ බණ්ඩාර සර්.

ඉන් පසුව මම මර්වින් පෙරේරා සර් ලග පුහුණුවීම් වලට යොමු වෙනවා. ඔහු සමග පුහුණුව ලබ කාලයේ තමා මම සාක් ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ.

පාසල් වයසේදීම ඔබ දකුණු ආසියානු තරගාවලියට දායක වනවා. මේ පිලිබඳ මතකය අවදි කලොත්?

ඔව් 1989 පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර තමා තරගාවලිය පැවැත්වුණේ. එහිදී සහය දිවිමේ ඉසව්වෙන් රිදී පදක්කම ලංකාවට ගෙනාව අපි.  මෙය තමා මගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම. එවිට මට වයස අවුරුදු 18යි. මා සමග සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරේ ජයනි නිලේපෙරුම, නිල්මා පීටර්සන් සහ ඉනේකා කුරේ.

ඔබතුමිය 100මී ඉසව්වෙන් පාසල් කාලයේදීම 12.1වැනි ඉතා හොද කාලයක් වාර්තා කරනවා. මෙවැනි මට්ටමක සිටියදී වයස අවුරුදු 19න් ක්‍රීඩාවට සමුදීම පිළිබඳව දැනෙන්නේ කොහොමද ?

එය විශාල අපරාදයක් කියලා දැනෙනවා. හිතෙනවා සහ අදටත් මම පසුතැවෙනවා ඒ තීරණය පිළිබඳව. නමුත් මගේ දෙමාපියන්ට විරුද්ධ වීමට තරම් ශක්තියක් මට තිබ්බේ නෑ. උසස්පෙළ කරන්න අවශ්‍ය නෑ මට මගේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න ඕනි කියලා කියන්න
මට ශක්තිය තිබ්බේ නෑ. ඉතින් ඔවුන් දැන් ඇති කිව්වාම මම නතර වුණා.

මගේ පුහුණුකරු වන මර්වින් සර්ගේ බිරිඳ මට මුණගැසෙනවා. ඇය අදටත් පවසන්නේ මම ක්‍රීඩාව තුල සිටියා නම් මම තමා අද සුසන්තිකා වෙන්නේ කියන එක. මගෙන් පසුව තමා සුසන්තිකා ඔහු ලග පුහුණුවට පැමිණෙන්නේ.

බොහෝ දුරට දෙමාපියන් දරන මතය වන්නේ ක්‍රීඩාව  හා අධ්‍යාපනය දරුවන්ට සමබරව පවත්වාගෙන යා නොහැකියි කියන එක. ඒ හේතුව නිසා දෙමාපියන් දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන් නෑ. මේ දෙමාපියන්ට ඔබ දෙන පණිවිඩය මොකක්ද ?

ඔබ හරි . ගොඩක් දෙමාපියන් මූලිකත්වය දෙන්නේ අධ්‍යාපනයට. දරුවෙක් ක්‍රීඩාවට යොමු කරත් සාමාන්‍ය පෙළින් පසුව දරුවාව ක්‍රීඩාවෙන් ඉවත් කර ගන්නවා. ඒක බොහොම වැරදි. දරුවෙක් අංග සම්පූර්ණව වැඩෙන්න නම් ක්‍රීඩාව අත්‍යාවශ්‍යයි. ඒ පැතිකඩ වර්ධනය
කල යුතුයි. එයයි විය යුතු දේ.

අවසාන වශයෙන් ලංකාවේ අද ක්‍රීඩාව තිබෙන තත්වය පිළිබඳව ඔබගේ මතය කුමක්ද ?

ලංකාව තුල ඉන්නවා දක්ශ ක්‍රීඩකයින්. නමුත් ඔවුන්ට නිසි මග පෙන්වීමක් නෑ, ඔවුන්ට සහය වෙන්න,ඔවුන්ව ඉදිරියට යොමු කරන්න නිසි පුද්ගලයෙක් නෑ . එයයි ප්‍රධාන හේතුව අද ලංකාව තුල ක්‍රීඩාව මේ තත්වයේ පවතින්න .

ඒ වගේම අපේ ලංකාවේ ක්‍රිකට් වලට ලැබෙන සහයෝගය මලල ක්‍රීඩාවට ලැබෙන් නෑ. අපේ කාලයේ බොහෝ ක්‍රීඩකයින් බිහිවුණේ කොළඹ ආශ්‍රිතව  නමුත් දැන් ක්‍රීඩකයින් බිහිවන්නේ ගමෙන්. ඔවුන්ට අපට වඩා විශාල ශක්තියක් සහයෝගයක් ලැබිය යුතුයි. එවිට ලංකාවේ ක්‍රීඩාවේ තත්වය මෙයිට වඩා හොද වෙයි.

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x